“Ceylon King Coconut Village – 250”
තැඹිලි ගම්මාන 250ක් ආරම්භ කිරීමේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන
“Ceylon King Coconut Village – 250” වැඩසටහන යටතේ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ තැඹිලි ගම්මාන ආරම්භ කිරීම පස්සර තොලබෝවත්ත ප්‍රදේශයේදී අද (18) දින සිදුවිය.
2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම මෙන්ම, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණවේ.
ඒ අනුව, 2026–2028 කාලසීමාව තුළ නව තැඹිලි වගා ව්‍යාපස්තිය සඳහා තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි වගාවන්හි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇත. නව වගා බිම් ප්‍රමාණය පුළුල් කිරීම මෙන්ම පවතින තැඹිලි ගස්වල ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.
මෙම උත්සවයේදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක ප්‍රමාණයක් ලබා දුන් අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ චෙක්පත් ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය ද, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී විය.






