බණ්ඩාරවෙල නාරංගහ ආරාව වෙල් යායට නව පාලමක් – ජාතික ග්‍රාමීය පාලම් වැඩසටහනට සමගාමීව මුල්ගල් තැබේ.
“ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන” ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹීමේ ජාතික වැඩසටහනට සමගාමීව, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, එගොඩගම හිබිලියගහ අරාව – නාරංගහ ආරාව වෙල් යායට පිවිසෙන මාර්ගයේ ඉදිකිරීමට නියමිත නව පාලම සඳහා මුල්ගල් තැබීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සිදු කෙරිණි.
මෙම පාලම ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහන යටතේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පාලම් වැඩිදියුණු කිරීමේ තිරසාර ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 90ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකිරීමට නියමිතය.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව නාරංගහ ආරාව වෙල් යායට ගමන් කරන ගොවීන් සහ ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත හා පහසු ප්‍රවේශයක් හිමිවන අතර, විශේෂයෙන් වර්ෂා සමයේ පවතින ගමනාගමන බාධා අවම කරමින් කෘෂිකාර්මික කටයුතු සහ ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට මෙම පාලම දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ග්‍රාමීය යටිතල පහසුකම් නංවාලීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ අතර සංවර්ධන පරතරය අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, සභා ලේකම්තුමිය, ප්‍රාදේශීය සභා නිලධාරීන්, ප්‍රදේශවාසී ජනතාව සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
See less






