“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”- නිවාස හිමිකම් චෙක්පත් ප්‍රදානය

බදුල්ලේ පවුල් 150 කට ලක්ෂ 1500 ක නිවාස හිමිකම් චෙක්පත් ප්‍රදානය කෙරේ.

වත්මන් රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන, “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක තරන මෙම ව්‍යාපෘතිය මගින් ඉඩමක හිමිකාරිත්වය පැවතුණද දැනට පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් වන, කුඩා දරුවන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස හිමිකම් චෙක්පත් ප්‍රදානය කෙරුනි.

මෙම වැඩසටහන යටතේ 2026 වසර සඳහා නිවාස 9,418 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර මෙහි එක් පියවරක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 257 ක් වෙන් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී පවුල් 150 ක් සඳහා හිමිකම් චෙක්පත් ප්‍රදානය අද (31) දින ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ නිවාස ප්‍රතිලාභී ජනතාව ඇතුළු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *